Wednesday, April 10, 2019

කැලණි විහාර ආශ්‍රිත නාග ගෝත්‍රිකයන් පිළිබද ජනප්‍රවාද



ප්‍රාග් ඓතිහාසික යුගයේ නාග, යක්ෂ, දේව හා රාක්ෂ ආදී සිව් මහා කුල වලට අයත් වාසීන් ශ්‍රී ලංකාද්වීපය තුල විසූ බව අපේ වංශකතාවල සදහන් වේ.බුදු සමය තුල ජනාදරයට පත් අනුරාධපුරය, පොළොන්නරුව වැනි නගරයන්ට වඩා පැරණි ඉතිහාසයක් කැලණිය හා එහි විසූ නාග ගෝත්‍රිකයන්ට හිමි වේ.

මේ පිලිබද ජනප්‍රවාදගත තොරතුරු රාවණ යුගය දක්වාම දිව යයි.සිය සොයුරු වූ රාවණ හට ද්‍රෝහී වීම නිසා විභිෂණයන්ට යක්ෂ, රාක්ෂ ජන සහාය නොලැබුණු බැවින් ඔහුගේ රාජධානිය කැලණියේ පිහිටුවා ගත්තේ කැලණි මිටියාවතේ ජීවත් වූ නාග ගෝත්‍රිකයන්ගේ සහාය ඔහුට ලැබුණු නිසා බව විද්වතුන්ගේ මතයයි.

මහමෙර අසල, මනිනාග දිවයින, යමුනා ගඟයට, කැලණි ගඟ යට සතර නා භාවනක් ඇති බවද එක්තරා මතයකි.අතීතයේ නාගයෝ රටේ ප්‍රධාන කොටස් තුනක් පුරා පැතිර පාලනයෙහි යෙදී සිටියහ.නාගදීපය යනුවෙන් හැදින්වුයේ වර්තමානයේ යාපා පටුන නමින් හැදින්වෙන පළාතයි.වඩුන්නාගල නමින් හැදින්වුයේ වර්තමානයේ කල්පිටිය නමින් හැදින්වෙන පෙදෙසයි.කැලණිය වශයෙන් හැදින්වුයේ වර්තමානයේද කැලණිය ලෙසින් හදුන්වන ප්‍රදේශයයි.


එකල ප්‍රධාන නාග රාජධානිය වූ නාගදීපය කැලණිය දක්වා විහිදී තිබුණි.උප රාජධානි දෙකක් ලෙස වඩුන්නාගල සහ කැලණිය පැවති අතර මේ අය ඥාති සම්බන්දතාවයකින් එක්ව සිටි පිරිසකි.

“වඩුන්නාගල නාග භවනෙහි තිස් කෙලක් නාගයින්ට නායක වූ චුලෝදර නම් නා රජෙක් වෙසෙයි.කැලණි ගංගා නාග භවනෙහි විසි කෙලක් නාගයින්ට නායක වූ මණි අඛ්කිත නම් නා රජෙක් වෙසෙයි.මනිනාග දිවයින, සමුද්‍ර නාග භවනෙහි තිස් කෙලක් නයින්ට නායක වූ මහෝදර නම් නා රජෙක් වෙසෙයි.මේ තුන් පක්ෂයේම නාගයින් ඔවුනොවුන් හා සහයෝගයෙන් වාසය කළහ.”

නාගදීපයේ මේ නාග ගෝත්‍රිකයන් අතර මිනිපලගක් නිසා හට ගැනීමට ගිය යුද්ධය සමථයකට පත් වුයේ බුදුරදුන්ගේ වැඩමවීමෙනි.බුද්ධ දේශනාවෙන් සතුටට පත් නාග රජවරු මිනිපළග බුදු රජාණන්වහන්සේට පුජා කලෝය.එහි සිටි මණි අඛ්කිත නා රජුගේ ආරාධනාවෙන් තෙවසරකට පසු බුදු රජාණන්වහන්සේ කැලණියට වැඩි සේක.

“එකල්හි නා රජු ප්‍රමුඛ නාග සේනාව බුදු රජාණන්වහන්සේට දන් පමුණුවා අනතුරුව ධර්මය ශ්‍රවනය කලෝය.”               (මහාවංශය.1 පරි. 71-77 ගාථා)

නාගයන් විසින් ඉදිකළ රත්න මණ්ඩපය පිළිබද මහාවංශයට වඩා වැඩි විස්තරයක් දීපවංශය සදහන් කරයි.

ඒ අනුව,
“නොයෙක් නොයෙක් නාගයෝ රත්නාලන්කරයෙන් හා නොයෙක් විචිත්‍ර පුෂ්ප වර්ගයෙන්ද නොයෙක් වර්ණ ධවජ සමුහයෙන්ද නොයෙක් අයුරින් අලංකෘත මණ්ඩපයක් කොට සියලු වර්ග වල ඇතිරිලි අතුට අසුනක් පනවා බුදු පාමොක් බික් සගන මණ්ඩපයට ප්‍රවේශ කරවා වඩා හිද වුහ.”                                                          (දීපවංශය, 2 පරි. 54-55 ගාථා)

කැලණි විහාර ගෙය කොටස් හතරකින් යුක්තය.රජ පිළිම ගේ, ඔත් පිළිම ගේ, අලුත් විහාර ගේ හා රන් පිළිම ගේ යනුවෙනි.

කැලණි විහාරයේ ඔත් පිළිම ගෙයි මදක් පහලට වන්නට දේව රූප සිතුවම් කොට ඇත.ඔත් පිළිම වහන්සේ ඉදිරිපස ඇති කොටසේ සිතුවම් කොට ඇත්තේ ලෝක පාලක දෙවිවරුන් සතර නමය.සතර දිසාවට අධිපතින් ලෙස ගැනෙන මෙම දෙවිවරු සතර වරම් දෙවිවරු ලෙසද හැදින්වේ.මෙම දේව රූප සතරෙන් දෙවනියට දකුණු දිසාවට අරක් ගත් විරුල්හ දෙවියන්ව ඇද ඇත.උන්වහන්සේ නාගයන්ට අධිපති දෙවියා ලෙස සැලකේ.

රජ පිළිම ගෙය තුල තිබෙන වටිනාම පිළිමය මණි අඛ්කිත නා රජ්ජුරුවන්ගේ ප්‍රතිමාවය.දකුණතින් කඩුවක් රැගෙන දෙපසින් සිංහයන් දෙදෙනෙක් සමග මෙය නෙලා ඇත. සෑම දිනකම උදැසන 5.30-6.00 ත් අතර කාලයේ මනිඅක්ඛිත නාරජු කැලණි විහාරය නැමදීමට පැමිණෙන බව විහාරය හා සම්බන්ධ බොහෝ දෙනාගේ විශ්වාසය වෙයි.
එසේම විහාර මළුවේ රාත්‍රී කාලයේ නාග මනාව මානවිකාවන් දුටු පිරිස්ද සිටින බව පැවසේ.ජටා මඩුලු පැළද සිනිදු සළු ඇඟලා සිටින මොවුන් දිගැටි ඇස් ඇති ඉතා සෝභාසම්පන්න දේහ ලක්ෂණ ඇති අය බව පැවසේ.සමහරුන් මොවුන් දැක බියට පත්ව ඇති අතර සමහරුන් ඔවුන් සමග කතාබහ කර ඇති බවද පවසයි.

ජනප්‍රවාදගත තොරතුරු වලට අනුව, සන්සුන්ව කැලණි ගං ඉයුරේ ගත කරන්නෙකුට ඉතා මිහිරි හඩින් බුදු ගුණ ගායනා කරන හඩ ඇසෙන බවයි.මෙසේ බුදු ගුණ ගායනා කරනු ලබන්නේ ගං වැල්ලේ සිටින රූමත් නාග මානවිකාවන් බවත්,ඔවුන් විණා වාදනය කරමින් බුදු ගුණ ගායන බවත් පැවසේ.

කැලණි ගඟබඩට නාග මානවිකාවන් පැමිණෙන්නේ කොයි දෙසින්ද යන්නට සිංහල බෞද්ධයන් තුල යම් යම් මතිමතාන්තර පවතී.ඔවුන්ගේ විශ්වාසයන්ට අනුව කැලණි ගඟ යට නාග ලෝකයක් පවතී.මෙසේ එම නාග ලෝකයේ සිට රූමත් නාග මානවිකාවන් කැලණි ගඟබඩට විත් එහි ඇති සුමුදු වැලි තලාවෙහි විණා වාදනය කරමින් බුදු ගුණ ගී ගායනා කරන බවත් පැවසේ.

මේ පිළිබද තොරතුරු රාහුල හිමියන් සැළලිහිණි සංදේශය තුලද අන්තර්ගත කොට ඇත.
මනහර නා මෙනෙවිය නිඳ ළවැලි පි       
ගෙන මිණි වෙණ තත් නියගින් මැද රුව ට
කන හෙවැ කියන බුදු ගුණ ගී මියුරු කොට
සැනහෙව කැලණි ගඟ බඩ මඳ කලක් සිට (45 කවිය)

දුටුගැමුණු රජු පිලිබදව එන ජනප්‍රවාදයකද කැලණි ගංගාව අසල සිටි ජයසේන නම් නා කුමරෙකු හා ආරවුලක් ඇති කර ගත් බව කියවෙයි.

බොහෝදුරට නාගයන්ගේ ජනාවාස පිලිබදව විමසා බැලීමෙන් පැහැදිලි වන්නේ ඔවුන් කිසියම් ආකාරයකට ජලය සමග දක්වා තිබෙන සම්බන්ධතාවයි.වංශකතාවල සහ ජනප්‍රවාදවල ඔවුන් උරග විශේෂයකට සම්බන්ද කොට ඇතත් මෙහි සැබෑ ස්වරුපය නම් ඔවුන් ජලය හා කටයුතු කල ජනතාවක් බවයි. 

කැලණි නගරය ආශ්‍රිතව විසූ නාගයින් දක්ෂ නාවිකයන් බවත් ඔවුන් ඔරු,පාරු සහ නැව් තැනීම පිලිබදව දැනසිටි බවත් සදහන් වේ.සැම විටම නාගයන් පිලිබදව සදහන් වන තැන්වලදී ප්‍රකාශ කරන්නේ ඔවුන් සතුව විශාල ප්‍රමාණයක වස්තුව තිබු බවයි.
ඇතැම් විට ඒවා ඔවුන් වෙලදාම් මගින් ලබාගත් ඒවා වන්නට පුළුවන.විශේෂයෙන්ම ඔවුන් මැණික් හා රන්වන් වලට හිමිකරුවන්ව සිටි බව පැහැදිලිය.ඉන් පැරණිතම සදහන වන්නේ බුදු රජාණන්වහන්සේ ලක්දිවට පැමිණෙන්නේ මැණික් පුටුවක් අරභයා නාගයන් අතර ඇති වූ කලහයක් සන්සිදවීමටයි.එසේම මණි අඛ්කිත නා රජු මැණික් මණ්ඩපයක් කරවා දන් පිළිගැන්වූ බව කියවේ
.
පසුකාලීනව පොදු ජනවහරේ කන්ඪ මාණික්‍යයන් සහිත නාගයන් ඇතැයි යන විශ්වාසයක් ගොඩනැගුනේ ඉහත සදහන් මැණික් වලට හිමිකම් කියූ නාග ගෝත්‍රික ජනතාව නිසා වන්නට පුළුවන.

Dew.....                                                                                                                                                                                                                                                                   ආශ්‍රිත ග්‍රන්ථ :
1.පන්සීය පනස් ජාතකය - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
2. ජයමාන්න සුසන්ත(2015)- අසිරිමත් කැලණිය
3.දිසානායක ජේ.බී.  (2013)-රටක මහිම -1 කැලණි විහාරේ
4.සම්මුඛ සාකච්චා ඇසුරෙන් ......
                                                                                                                                                                                                                         





   

No comments:

Post a Comment