Monday, July 22, 2019

කථකලි නර්තන සම්ප‍්‍රදාය


කථකලි නර්තනයෙහි ප‍්‍රභවය ඇති වූයේ දක්ෂිණ භාරතයෙහි කේරළ ප‍්‍රාන්තයෙහිය. එය මලබාරය නමින් ද හැඳින්වේ. ඉතාමත් අසීරු වූ නැටුම් අභ්‍යාසයවන්ගෙන් සමන්විත කථකලි තාණ්ඩව හා ලාස්‍ය යන කොටස් දෙකෙන්ම යුක්තය. භාරතයේ මහා කාව්‍යයන් වන මහා භාරතය, රාමායනය, භගවත් ගීතාව යන ග‍්‍රන්ථයන්හි එන කතා ඇසුරින් ගෙතුණු කතාන්දර රඟ දැක්වීම කථකලි නර්තනයේදී සිදු කෙරේ.

දකුණු ඉන්දියාවේ බටහිර ප‍්‍රදේශයේ කේරළය අරාබි මුහුදත්, ඝාට්ස් කඳුවැටියත්් අතර පිහිටා ඇත. එහි දකුණු කෙළවර අවසන් වන්නේ ඉන්දියන් සාගරයෙන්ය. එම නිසා කේරළය අන් රටවලින් වෙනස් වීම හේතුවෙන් එම ප‍්‍රදේශයේ් සමාජීය, දේශපාලනික, සංස්කෘතික අංග වලදී වෙනස්කම් දක්නට ලැබේ. කේරළයේ මුල් පදිංචි කරුවන් වන්නේ ද්‍රවිඩයන්ය. අනතුරුව ආර්යයන්ගේ සංක‍්‍රමණයන් නිසා මිශ‍්‍ර සංස්කෘතියක් ඇති වූ අතර කථකලි නැටුම ඇති වූයේ එම මිශ‍්‍ර සංස්කෘතියේය.



කථකලි යන වචනයෙහි අර්ථය කථා+කලි යන්නයි. එනම් කතාවෙන් රඟ දැක්වීමයි. මලබාරයට ජන නැටුම් සඳහා මූලිකත්වය ගෙන ක‍්‍රියා කලේ එහි විසූ ”චකියාර්” නැමැති බ‍්‍රාහ්මණයෙකි. චකියාර්වරු දේව පූජා උත්සව වලදී සමූහ වශයෙන් ඉදිරිපත් කළ මෙම නර්තන කුඩියාට්ටම් විය. ඒක පුද්ගල චකියාර් කුථු නම් විය. බ‍්‍රාහ්මණ යුගයක බිහිවූ මෙම චකියාර් නැටුම් වීර කතා හා දේව කතා ආශ‍්‍රිතව සකස් කර ඇති හෙයින් එය තාණ්ඩව නෘත්‍යන්ගෙන් සමන්විත විය. නෘත්‍ය ප‍්‍රසංගයන්හීදි ස්ත‍්‍රී චරිත නිරූපණය කලේ පිරිමින් විසිනි. එය කුම්මි ආට්ටම් නමින් හැඳින්විය.


බ‍්‍රාහ්මණ සමාජය විසින් කාන්තාව කෙරෙහි හෙළන ලද පහත් දෘෂ්ටිය නිසා කාන්තාවන් මෙහි චරිත නිරූපණය සඳහා යොදා නොගෙන කාන්තා චරිත පුරුෂ පක්ෂය විසින් නිරූපණය කරන ලදී. 16 හා 17 වන ශතවර්ෂය මෙම රංග ශෛලියෙහි සැලකිය යුතු කාල වකවානුවකි.

කේරළ ප‍්‍රාන්තයේ කොට්ටාරක්කාර තාම්පුරන් රජු ශ‍්‍රී රාමයන්ගේ චරිතය අලලා නාට්‍ය 8ක් නිර්මාණය කළේය. ඒ අතර සීතා ස්වංවරම්, බලිවධ තොරණ යුද්ධ ප‍්‍රමුඛ විය. එය රාමාට්ටම් නමින් හැඳින්වේ. කැලිකට්හි මහා රාජා වන ප්මෝරින් ශ‍්‍රී ක‍්‍රිෂ්ණගේ චරිතය අලලා නිර්මාණය කල නෘත්‍ය නාටක ක‍්‍රිෂ්ණාට්ටම් නමින් හැඳින්වේ. කොට්ටාරක්කාර රජු තමා විසින් නිර්මාණය කල රාමාට්ටම් නෘත්‍ය නාටකයට නව මුහුණුවරක් දෙමින් එය භාරතය පුරා ප‍්‍රදර්ශනය කරන ලදී. ක‍්‍රිෂ්ණාට්ටම් ක‍්‍රමක‍්‍රමයෙන් අභාවයට යමින් පැවතුණි.

19 වන ශතවර්ෂයේදි පණ්ඩිත වල්ලතෝල් නාරායන මෙනන් නම් ශ්‍රේෂ්ඨ කවියා කේරළ කලා මණ්ඩලය ඇති කොට ඉහත සඳහන් චකියාර් කුථු, ක‍්‍රිෂ්ණාට්ටම් හා රාමාට්ටම් යන නෘත්‍යන්ගේ දර්ශනීය කොටස් එක්කොට කථා+කල නොහොන කථකලි නමින් නෘත්‍යයක් බිහි කළහ.

මලබාරයේ චිරුත්තපති නම් ග‍්‍රාමයේ පිහිටි කේරළ කලා මණ්ඩලය කථකලි නැටුම් සම්ප‍්‍රදායේ ප‍්‍රවීණ ගුරුවරුන් බිහිකල කේන්ද්‍රස්ථානයක් විය. ලොව පතළ කථකලි නර්තනයේ කලාවේදින් වශයෙන්,
    රාම් ගෝපාල්, ශ‍්‍රී ගෝපිනාථ, කුංජු කුරුප්, රාගිනි දේවි, කි‍්‍රෂ්ණ අයියර්, රාවුනි මෙනන්, චතුනි පණික්කාර් ආඳීහු නම් කල හැකිය.

කථකලි වර්ධනය සඳහා කෝවිල් ආභාසය බෙහෙවින් සැලසී ඇත. පසුකාලයේදී කෝවිල් වලට පමණක් සීමා වී තිබු කථකලි නර්තනය ජනතාව වෙතටද සමීප විය. එපමණක් නොව කේරළයේ උගතුන්, කුලවතුන් ආඳීන් මෙම නෘත්‍ය කලාව ආරක්ෂා කිරීමට හා සංවර්ධනය කිරීමට පුරෝගාමී වූහ. මේ හේතුවෙන් 19 වන සියවසේදී කථකලි නර්තනය ජාතික නර්තනය බවට පත් විය. වීර කේරළ චර්මා රජු විසින් කථකලි කතා පුවත් සියගණනක් ප‍්‍රබන්ධ කිරීමෙන් දායක වී ඇත. මෙම කතා ප‍්‍රබන්ධ කිරීමට යොදාගෙන ඇත්තේ මහා භාරතය, භගවත් ගීතාව, ගීතගෝවින්දය ආඳි පැරණි ග‍්‍රන්ථය. මෙම කථකලි නර්තනය මලයාලි සාහිත්‍ය සමඟ බෙහෙවින් සමීප වන අතර මෙහි ඇතුළත් බොහෝ කතා ප‍්‍රබන්ධ කොට ඇත්තේ මලයාලීන් විසිනි.

ආධුනිකයෙකු කථකලි නැටුම ඉගෙනීමට සූදානම් වන අයුරු

කථකලි නර්තනය සඳහා නළුවෙකු තෝරාගනු ලබන්නේ බොහෝ විට බ‍්‍රාහ්මණ කුලයේ වයස අවුරුදු 10-12 අතර කාලයේදීය. සුබ නැකතින් වැඩිහිටි ආශිර්වාදය මත නළුවෙකු ඉගෙනීම අරඹයි. ඔහු ගුරුවරයාටත්, නර්තනයටත් භක්තිමත්ව මෙම කලාව ඉගෙනීම ආරම්භ කල යුතුය. දැඩි වෙහෙස මහන්සියකින් හා කැපවීමකින් යුතුව අභ්‍යාස කිරීම අත්‍යාවශ්‍ය කරුණකි. කුඩා අවධියේදිම රං විධි සඳහා පුහුණු අභ්‍යාස නිතිපතා ප‍්‍රායෝගික ජීවිතයේ පවත්වාගෙන යායුතු අතර වන අතර එයින් නම්‍යශීලී ශරීරයක් සහිත රංග ශිල්පියෙක් බිහිකර ගැනීමට අවකාශය ලැබේ.

කේරළ කලා මණ්ඩලයෙහි පවත්නා අභ්‍යාස මාලාවන්ට අනුව ශීත කාල වකවානුව තුළ දිනපතා අලූයම 3.00 සිට 7.30 දක්වා අක්ෂිගෝල අභ්‍යාස හා ශරීර අභ්‍යාස නොකඩවා පැවැත්විය යුතු අතර තෙල් සම්භාහනයෙන් පසුව එකී අභ්‍යාස මාලාව නිමාවට පත් කෙරේ. තෙල් සම්භාහනයේදි සකසා ඇති බාල්කයක් අතින් අල්ලා ගන්නා ගුරුවරයා තම දෙපයෙහි ඇඟිලි තුඩු වලින් හා පතුළු වලින් ගෝලයාගේ ශරීරය සම්භාහනය කරයි. මෙහිදී ශරීරයේ සෑම සන්ධිස්ථානයකටම හා සෑම මාංශ පේශියකම මූලයකට තල තෙල් උරා ගන්නා පරිදි එකී කටයුත්ත ඉටු කිරීමට ගුරුවරයා වගබලා ගනී. මෙම ක‍්‍රියාවලිය ආධුනිකයෙකුට පීඩාකාරී වුවද ඉන් නර්තකයාට ලැබෙන කායික නිරෝගී සම්පන්න බව හා නම්‍යශීලී ශරීරය කථකලි රංග පීඨයේ අවශ්‍යතාවයට බෙහෙවින් අනුබලයක් වෙයි.
කථකලි නර්තනයෙහි සුවිශේෂි පුහුණුවක් හස්ත මුද්‍රා වෙනුවෙන් ලබා දේ. මෙහි භාව ප‍්‍රකාශනයද ඉතා ගැඹුරු මට්ටමක පවතී. කථකලි රංග ශිල්පය තුළ ආංගික, වාචික, සාත්වික, ආහාර්ය යන සතර අභිනයන්ගේ භාවිතය තුලින් සෙසු භාරතීය කලාවන්ට සාපේක්ෂව ඉහළය.

දෛනික අභ්‍යාස කිරීම අතර පාන්දර යාමයේ ආරම්භ කරන අක්ෂි අභ්‍යාසය හා හාරීරික අභ්‍යාස තෛල සම්භාහනයෙන් පසුව උදේ ආහාරය සඳහා සුලූ විවේකයක් ලැබෙනුයේ ස්නානය කිරීමෙන් අනතුරුවය. නැවත උදේ 8 න් පසුව සෙසු නර්තන පුහුණු වීම් සිදු කිරීම හා අභිනය සඳහා හුරු පුරුදු කරවීම කලා මණ්ඩල සම්ප‍්‍රදායෙහි ලක්ෂණයකි. රාතී‍්‍ර කාලයේදී පවා මොවුන්ට රඟ දැක්වීමට නියමිත කතන්දර වල ස්වරූපය හඳුනා ගැනීම සඳහා මහා භාරතය, ආඳී පුරාණ කතා අධ්‍යයනය කිරීමටත්, ඒවායෙහි කතන්දර ඇසීමට සැලැස්වීමත් සිරිතකි. කථකලිහි සාමාන්‍ය ස්වරූපය යනු මෙම ආගමික කතන්දර රඟ දැක්වීම වන හෙයින් එම කතන්දර වල එන සෑම චරිතයක්ම ඉතා සූක්ෂම ලෙස අධ්‍යයනය කර තිබීම වැදගත්ය.

කථකලි වේදිකාව, නේපත්‍යාගාරය හා සංගීතය 

සාම්ප‍්‍රදායික එළිමහන් රංගපීඨයක ස්වරූපය වන්නේ බිම තල් කොල වලින් වියන ලද පැදුරු මාගල් එලා රංග පීඨය ඉදිරියෙහි විශාල පොල්තෙල් පහනක් දල්වන අතර එහි ආලෝකයෙන් රංග කාර්යය ආලෝකමත් වේ.

නීල විලක්කු නමින් හඳුන්වන මෙම විශාල පොල්තෙල් පහන වර්තමාන භාවිතයෙහි පවත්නා විවිධාකාර ආලෝක කිරීම් වෙනුවට අතීත භාවිතයේ වේදිකා ආලෝකකරණය සඳහා යොදා ගන්නා ලද්දකි. මෙම නීල විලක්කුවෙහි ආලෝකධාරාවන් වර්ණාලේපිත මුහුණු වලට ලැබීමෙන් අදාළ චරිත මනා දීප්තියෙන් යුතුව දර්ශනය වේ.

නේපත්‍යාගාරයද වේදිකාවට යාබදව සකස් කරන අතර එහි බිම පැදුරු එලා මධ්‍යයෙහි කුඩා පහනක් දල්වනු ලැබේ. අදාල චරිතය නිරූපණය කරන ශිල්පියා තම වේෂ නිරූපණය සිදුකරගන්නේ එම පහනේ ආලෝකයෙනි. අවම වශයෙන් පැය 4ක් 5ක් මේ සඳහා ගත වන බැවින් කල්වේලා ඇතිව තම වේෂ නිරූපණ කටයුතු සිදු කර ගැනිමට රංග ශිල්පියෝ වගලබා ගනිති.

රඟ මඩලෙහි මේසයක් හා කුඩා ආසන දෙකක් හැරෙන්නට අන් කිසිවක් නොවේ. අඩි 12ක් පමණ දිග ඇති විචිත‍්‍රවත් වර්ණයෙන් යුතු රූ කඩතිරයක් රඟ මඩලෙහි සහකාරයන් දෙදෙනෙකු විසින් අල්ලා සිටිනු ලබන්නේ යම් යම් භායානක චරිත කරලියට ප‍්‍රවිශ්ඨ වන අවස්ථාවන් වලදීය. මෙය තිරස්තීල ලෙස හඳුන්වන අතර නර්තකයා ප‍්‍රථමයෙන් මෙම තිරයට පිටුපස සිට රංගනයේ යෙදෙයි. ටිකෙන් ටික මුහුණ පමණක් පෙන්වමින් රංගනයෙහි යෙදෙන ශිල්පියා දෑතින් තිරය අල්ලාගෙන ටිකෙන් ටික තම දර්ශනය වර්ධනය කරන අතර තිරය සමඟ කරන මෙම කඩතිරයේ බැලීම හඳුන්වනු ලබන්නේ තිරනෝත්තු යනුවෙනි.

3 comments: