Sunday, July 7, 2019

රන්බණ්ඩා සෙනවිරත්න.....



රන්බණ්ඩා සෙනවිරත්නයන් ප‍්‍රවීණ ගීත රචකයෙකු වු අතර ඔහු වෘත්තියෙන් අධිනීතිඥවරයකි. නඩු අහපු හෝ නඩු විසදපු රන්බණ්ඩාට වඩා අප ආදරය කරනුයේ ගීත ලියපු රන්බණ්ඩාටය. ඔහු ගීත වැඩි ප‍්‍රමාණයක් ලියු පද රචකයෙකු නොවේ. නමුත් ඔහු අප වෙනුවෙන් ඉතිරි කර ගිය ගීත කිහිපය තුළ, සිතන්නට බොහෝ දේ ඉතිරි කර තිබේ.
    දවසක් පැල නැති හේනේ, ළඳුනේ, උලලේනෝ, සුමනෝ වැනි ගීත නැවත බිහි වේ යැයි සිතීම අපහසුය.
මිහින්තලේ මරදන්කල්ල ඔහු උපන් ගමයි. මරදන්කල්ලේ සිට කොළඹ නීති විද්‍යාලයට ද එතැනින් කොළඹ ඉහළ සමාජයේ ආශ‍්‍රයටද වැටුණු ඔහු ”මම ගමේ බයියෙක් ” යැයි කීමට කිසිවිටකත් පසුබට වුයේ නැත.

        ඔහු පහේ පන්තියේදී හිමි වන ශිෂ්‍යත්වයෙන් අනුරාධපුර මහ විද්‍යාලයට ඇතුළු වී පසුව උසස් අධ්‍යාපනය හදාරන්නේ කොළඹ නීති විද්‍යාලයේය. නීති විද්‍යාලයට ඇතුළු වී දෙවනි වසරේදීම ඔහු ශිෂ්‍ය සංගමයේ සභාපති බවට පත් වෙයි. හැත්තැ එකේ කැරැල්ල සමයේ ඔහුව ඝාතන නොකිරීමට එකම හේතුව වන්නේද ඔහු ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා වීමය. නමුත් ඒ වන විටත් රන්බණ්ඩාගේ සහෝදරයන්, ගමේ ඔහුගේ යහළුවන්ද කැරැල්ලේ කි‍්‍රයාකාරී සාමාජිකයන් වී තිබුණි.කැරැල්ලෙන් ඔහුගේ පවුලේ දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කළේය. ඊට අමතරව පවුලේ පස් දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

        ඔහුගේ මෙම වේදනාව පිට කෙරුණේ උලලේනෝ නැමති ඔහු අතින් ලියැවුණු අතිවිශිෂ්ඨ ගීතය හරහාය. "කැරැල්ලේ වේදනාව මම හොදට අත්වින්දා. උලලේනෝ ගීතය ලියුවේ වේදනාවෙනි. ඒ විතරක් නොවෙයි මගේ හැම ගීතයක්ම ලිව්වේ ඒවායින් කැසට් ගහන්න නෙවෙයි.ඒ ඒ අවධි වලදී මගේ ඇතිවුණු හැඟීම් පළකරන මාර්ගයක් විදිහටයි. ” ලෙස පසු කලෙක තම ගී රචනා පිළිබඳව ඔහු එසේ පවසා ඇත. ඔහු රචිත "හිතේ දුකට කියන කවි ” නම් කෘතියේ මේ සියල්ල ඇතුලත්වී තිබේ.
        ඔහුගේ ජීවිතයේ සුන්දරත්වය දුටු මිනිසෙක් මෙන්ම ජිවිතයේ සෘජු තීරණ ගත්  දැඩි විනයක් සහිතව දිවි ගෙවුවෙක්ද වෙයි. ඇතැම් විට තම වෘත්තීය ගෞරවය ආරක්ෂා කර ගැනීමත් තම පියාගෙන් ලැබුණු ආභාශයත් ඊට හේතුවන්නට ඇත.
    අවසානයට රණ්බන්ඩා සෙනවිරත්නයන් විසින් එක්තරා වැඩසටහනකදී කියන ලද වැකියක් මෙහි සදහන් කල හැක.
”සුනඛයෙක් මියගිය විට මිනිස්සු හැටක් පමණ වටවී සොයා බැලු යුගයක් අපට තිබිණි. නමුත් මිනිස්සු හැටක් මැරුණත් එකෙක්වත් නොබලන යුගයක අපි ජිවත්වෙමු”

        එවනි යුගයකට වඩාත්ම අවශ්‍ය වන්නේ රන්බණ්ඩා සෙනවිරත්න වැනි මිනිසුන් බව අපට පසක් වේx




දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ 


නුවර වීදි යටකරගෙන
නින්දා වැහි වැගිරුණුදා
බිරිදකගේ සෙනෙහෙ ගියා යොද ඇලේ නැම්මේ
නුබ සෙනෙහස සුවද දිදී
දැනුණා මට අම්මේ


කොලඹ අහස කළුකරගෙන
මුහුදු හුළග අඩලනකොට
ඔටුන්න බිම දා දුවගෙන
එන්නද එක පිම්මේ
මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ





ගායනය    :- විශාරද ගුණදාස කපුගේ
පද රචනය :- අධිනීතිඥ රන්බණ්ඩා සෙනවිරත්න






මනෝවිශ්ලේෂණවාදයට අනුව දියණියක් වැඩි වශයෙන් සිය පියාට ඇළුම් කරන අතර පුත‍්‍රයෙකු වැඩි වශයෙන් සිය මෑණියන්ට  ඇළුම් කරයි. මව කෙරෙහි ඇතිවන ඇල්ම හේතුවෙන් ඇය අත්පත් කර ගැනීමට කටයුතු කරයි. පුත‍්‍රයකු විසින්  මව අත්පත් කර ගැනීමේ අපේක්ෂාවෙන් පියාව අතික‍්‍රමණය කිරීමට යාම මත සහජාත පුතුන් බිහිවේ. මව හා පුතු බැදීම සමීප සම්බන්ධයක් විමට මෙය එක් සාධකයකි. රන්බණ්ඩා සෙනවිරත්නයන්ද මේ ගීතය රචනා කිරීම උදෙසා මෙම සාධකය සලකා බලන්නට ඇතැයි උපකල්පනය කළ හැක.

මෙහි එන මව හා පුතු ස්ථාන දෙකක වාසය කරන බව උපකල්පනය කළ හැක. වැඩිවියට පත් පුත‍්‍රයා සිය ග‍්‍රාමීය නිවසෙන් නගරය කරා පැමිණ ඇත. මොහුට මුහුණ පාන්නට සිදුවන සිදුවීම් සහ අත්විදින තනිකම හමුවේ නිරන්තරයෙන් සිය මව සිහිපත් වේ.
තනි වීමෙහි කොටස් කිහිපයකි.
x    විප‍්‍රවාසය      - ස්ථානයන් දෙකක වාසය කිරීම.
x    විප‍්‍රයෝගය    - අත්හැර දැමීම/ හැර දමා යාම.
x    විප‍්‍රලම්භය     - අහිමි වීම.

විප‍්‍රවාසය නිසා හටගත් තකිකම මෙම ගීතයට පාදක කරගෙන ඇත.

නුවරකලාවියේ බස් වහර යොදා ගනිමින් නිර්මාණය කර ඇති බැවින් එම ප‍්‍රදේශය ආශ‍්‍රිත ගම්මානයක් ලෙස උපකල්පනය කළ හැක.
        ”පැල නැති හේන” තුළින් පියා නොමැති ගෙදරක් ගැන අදහස් කරයි.  පැලක් සකසනුයේ හේනේ ආරක්ෂාව පිණිසය. ගෘහයේ ආරක්ෂකයා ගෘහ මුලිකයාය. මේ අනුව මේ කතා නායකයාගේ පියා නොමැත.  පියා නොමැති ගෙදරක බොහෝ ගැටළු උත්පන්න වෙයි.

        ”අකාල මහ වැහි වැස්සා”
අකාලයේ පියා අහිමි වීම හේතුවෙන් අකාලයේ වැටුණු අඟහිඟ වරුසාව හෙවත් නිතර පැමිණි කරදර වලින් අම්මා වැස්සට බිලි වෙමින් සිය පුතණුවන් ආරක්ෂා කර ගනී.

        ”තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ”
”පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ”
අගහිඟයන් පිළිබදව දරුවාට දැනෙන්නට ඉඩ නොදී ඔහු සමග අම්මා සියළු කරදර දුක්ඛදෝමනස්සයන් විදගනිමින් ඔහුව ආරක්ෂා කරගන ඇත. දරිද්‍රතාතාවය, පිටස්තර පිරිමින්ගේ බලපෑම් වලට තතු නොවී තවත් විවාහයක් ගැන නොසිතා පුතු වෙනුවෙන් ඇපකැප වී සිට ඇත.
මෙම පද කිහිපය පිළිබදව තවදුරටත් විමසා බැලීමේදී රන්බණ්ඩා සෙනවිරත්නයන්ට පටාචාරා කතා වස්තුවෙන් ආභාෂය ලැබී ඇති බව පෙනී යයි. ස්වාමියා අහිමි වීමෙන් පසු වනාන්තරය තුළදී දරු දෙදෙනා සමඟ තනි වී සිටින අතරතුර පටාචාරාවන් ධාරානිපාත වර්ෂාවෙන් දරු දෙදෙනා බේරා ගැනීම සදහා දෙවැලමිට බිම ගසාගෙන, දෙකකුල් බිම ඇණ ගෙන දරුවන් බඩ යටට ගෙන ඔවුන් නොතෙමා වැස්ස පායන තුරු සිටි බව ධර්මසේන හිමියන් ලිවු සද්ධර්මරත්නාවලියේ පටාචාරා කතා වස්තුවෙහි සදහන් වේ.
       
        ළමා විය සිය මව තුරුලෙහි ගත කර වැඩිවියට පැමිණි පසු නගරයට පැමින විවාහයක් කර ගනී. නුවරකළාවියේ සිටි ළමයා තරුණ වියට පත් වී නුවර ප‍්‍රදේශයේ තරුණියක් හා විවාහ වු බවට උපකල්පනය කළ හැක. මෙහිදී තරුණයා සිය ජිවිතයේ දෙවෙනි අනෝරා වැස්සට මුහුණ දෙයි. එම වැස්සට නම් නින්දා වර්ෂාවයි. විවාහයෙන් අනතුරුව නුවර ගතියට ඔහු හැඩ ගැසෙයි. ගම අමතක වෙයි.  ඔහු නුවරට මෙන්ම ගමටද අමුත්තෙකු බවට පත් වේ.  ඔහුව  ගමෙන් මහතෙකු ලෙසත්, නගරයෙන් පිටිසරයකු ලෙසත් පිළිගනි.  ඔහු මේ දෙක අතර අතරමං වී සිටී. නින්දා වැස්සට මුහුණ දීමේදී බිරිදගේ සෙනෙහස ක‍්‍රමක‍්‍රමයෙන් අඩු වී ගිය ආකාරය ගීතයෙන් දැක්වේ. සෙනෙහස අඩු වීම සිදු වී ඇත්තේද ඇසට පෙනෙන නොපෙනෙන අයුරිනි.

” බිරිදකගේ සෙනෙහෙ ගියා යොද ඇලේ නැම්මේ......”

කලා වැව හා තිසා වැව සම්බන්ධ කරන වාරිමාර්ගය ජය ගඟ හෙවත් යෝධ ඇලයි. මෙහි බැස්ම හැතැම්මට අගල් 06 කි. ඉතාමත් සෙමින් වතුර බැසීමක් මෙහි සිදුවේ. බිරිදගේ සෙනෙහස ඉතාමත් සෙමින් පෙනෙන නොපෙනෙන ආකාරයට සිදු වු බව කියා පෑමට යෝධ ඇල රූපකයක් වශයෙන් යොදාගෙන ඇත.
ජලය හෙමින් ගලා බසින බැවින් ජල තලය ඝනත්වයෙන් වැඩිවේ. යෝධ ඇලේ නැම්මට ඒ පීඩනය ඉතා දැඩිව දැනෙයි. මින් බිරිදගේ වෙනස්වීම ඔහුට දැනෙන ආකාරය හඟවයි.
” නුබ සෙනෙහස සුවද දිදී දැනුණා මට අම්මේ”
මිනිසුන් තමන්ට සිදුවන ප‍්‍රතික්ෂේපයන් හමුවේ නැවතත් අභිපේ‍්‍රරණය වීමට යොදා ගන්නා එක් සාධකයක් වන්නේ තම අම්මා පිළිබදව සිතීමයි.
උදා- ”කවුරු මොනව කලත් අනේ අම්මා මට එහෙම කලේ නැනේ ” කියා සිතීම.
    කරදරයකට බියකට පත් වු විට ”බුදු අම්මේ ” කියා කෑගැසීම.
මේ අනුව අප සිත තුළට ප‍්‍රථමයෙන් පැමිණෙන සිතුවිල්ල අම්මායි. එය දිවිය පුරාවටම අප හා බැදී ගමන් කරන්නකි. ළමුන්ගේ විපත් හමුවේ මවුවරුන් නිරන්තරයෙන් සිහිපත්වන්නෙ අව්‍යාජ පේ‍්‍රමයෙක් ඇය සතු බැවිනි. උණහපුළු අම්මාටත් උගේ පැටියා මැණිකක් වන්නේ එබැවිනි.
තුන්වන සමය එනම් වැඩිහිටි වියේදී මෙම පුද්ගලයා දිවිය ගත කරන්නෙ කොළඹ යැයි උපකල්පනය කළ හැක. ඒ වන විට ඔහු ධනයෙන් හා බලයෙන් ඉතාමත් පොහොසත් තලයක සිටී. කොළඹ පවතින්නේ ඉතාමත් සංකර සමාජයකි. නිරන්තරයෙන් පුද්ගලයාට එහි ඇතිකරන තරඟකාරීත්වයට බාධක වලට මෙන්ම වංක මිනිසුන් ඇසුරේ සිටීමට සිදුවේ.
ඔටුන්න යනු ඔහු සතුව පවතින ධනය හා බලයයි. ඒ තුල කිසිදු තෘප්තියක් සැනසීමක් නැති බව සිතන ඔහු  මේ සියල්ල ඉවතලා මව වෙත පැමිණෙන්නට අසයි. ඔහු පැමිණෙන බව පවසන්නේ එක පිම්මටය. ඒ තරමට ගමට යාමේ අවශ්‍යතාවය මවගේ සෙනෙහසේ ලැගුම් ගැනිමේ අවශ්‍යතාවය ඔහු සතු වෙයි. මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ යනුවෙන් ඔහු අවසන් වශයෙන් මවගෙන් ඉල්ලා සිටී. පුතෙකු එම ආයාචනය සිදු කළත් නැතත් මවක් පුතු වෙනුවෙන් ඉදිකඩ ළඟ බලා සිටී.
        මෙම ගීතය තුළ ගැබ් වී ඇති අදහස සේකරයන්ගේ ”ගම අමතයි” පද්‍ය පන්තියෙන් ආභාශය ලබා පෝෂණය වන්නට ඇතැයි උපකල්පනය කළ හැක්කේ මෙම නිර්මාණයන් දෙකෙහිම දක්නට ලැබෙන සාමානත්වය හේතුවෙනි.



සිදාදියට එන්නට මට
බුද්ධිය උඹ තමයි එදා
පාර කියා දුන්නේ
ගමෙන් උරුම වු වස්තුව පොදියක් බැඳ කර තියාන
නුඹෙ බහට රැවටීලයි සිදාදියට මං ආවේ..........

ඒ එනකොට ගෙන ආ දෙය
විය පැහැදම් කලා මිසක
මෙහිදී අලුතෙන් ඉපයු කිසිම දෙයක් නැත්තේ
ඉස බරකල පුහු නම්බුව විතරයි මට ඇත්තේ..........

සිදාදියෙන් ආපහු මගෙ
ගමට යන්න ආසයි මට
ඒත් ගමට යන්නට දැන්
පාර මතක නැත්තේ
පැලේ පිළේ ඉපදුණු මට
රජුන් ඇමතියන් නළවන
මිහිරි මුසා බස් කොයින්ද

ඉතිරිව ඇති සුළු වස්තුව
රැකගෙන ආපහු එන්නට
ඈත ඉදන් අත වනලා
අම්මේ මං ගමට එන්න
පාර කියාපන්නේ............

මෙහි භාෂා භාවිතය විමසා බැලීමේදී,
මෙම ගීතයෙහි අවස්ථා 3 කදි වැසි තුනක් ගැන සදහන් කර ඇත. ප‍්‍රථමයෙන් අකාල මහ වර්ෂාවයි. දෙවැන්න නින්දා වැස්සයි. තෙවැනියට කොළඹ අහස කළු කරගෙන මුහුදු හුළං හඬලමින් තවත් මහ වැස්සක් වසින්නට අර අඳින බවයි. මෙහි වැහි තුනෙන් අදහස් කරන්නේ විපතක්,කරදර බාධාවල පෙරනිමිත්තක් බවයි.
එමෙන්ම රජරට ජනතාව නියඟයකින් පසු වැස්ස වශයෙන් සලකන වැහි තුන මෙම ගීතයේ රූපකාර්ථයක් බවට පත් කර ගැනීමට අධිනීතිඥ රන්බණ්ඩා සෙනවිරත්නයන් උත්සුක වු බව පෙනේ.

 දවසක් පැල නැති හේනේ ගීතයේ ඇතුළත් වන වචන සමුදාය නුවර කලාවියෙහි ජන වහරේ එන වචනයි.
    යෝධ ඇලේ නැම්මේ
    පැල නැති හේන
    උඹ තෙමුනා අම්මේ
    මං එනතුරු ඉඳිකඩ ළඟ ඉන්නවාද අම්මේ
            වැනි යෙදුම්වලින්  ඒ බැව් සනාථ වේ. එමෙන්ම මෙම යෙදුම් වුකලි සාර්ථක නිර්මාණයක බලෙන් ඔබ්බවන ලද සංකේත නොව ස්වාභාවිකවම යොදන ලද සංකේතයෝය.

මෙරට බිහි වී ඇති විශිෂ්ඨතම මව් ගුණ ගීතයක් වන මෙහි මව සහ බිරිද යන ස්ත‍්‍රී භූමිකාවන් සහ පුද්ගල ජීවිතයේ ස්වභාවය මැනවින් නිරූපණය කර ඇත.

No comments:

Post a Comment