Sunday, July 7, 2019

රන්බණ්ඩා සෙනවිරත්න.....



රන්බණ්ඩා සෙනවිරත්නයන් ප‍්‍රවීණ ගීත රචකයෙකු වු අතර ඔහු වෘත්තියෙන් අධිනීතිඥවරයකි. නඩු අහපු හෝ නඩු විසදපු රන්බණ්ඩාට වඩා අප ආදරය කරනුයේ ගීත ලියපු රන්බණ්ඩාටය. ඔහු ගීත වැඩි ප‍්‍රමාණයක් ලියු පද රචකයෙකු නොවේ. නමුත් ඔහු අප වෙනුවෙන් ඉතිරි කර ගිය ගීත කිහිපය තුළ, සිතන්නට බොහෝ දේ ඉතිරි කර තිබේ.
    දවසක් පැල නැති හේනේ, ළඳුනේ, උලලේනෝ, සුමනෝ වැනි ගීත නැවත බිහි වේ යැයි සිතීම අපහසුය.
මිහින්තලේ මරදන්කල්ල ඔහු උපන් ගමයි. මරදන්කල්ලේ සිට කොළඹ නීති විද්‍යාලයට ද එතැනින් කොළඹ ඉහළ සමාජයේ ආශ‍්‍රයටද වැටුණු ඔහු ”මම ගමේ බයියෙක් ” යැයි කීමට කිසිවිටකත් පසුබට වුයේ නැත.

        ඔහු පහේ පන්තියේදී හිමි වන ශිෂ්‍යත්වයෙන් අනුරාධපුර මහ විද්‍යාලයට ඇතුළු වී පසුව උසස් අධ්‍යාපනය හදාරන්නේ කොළඹ නීති විද්‍යාලයේය. නීති විද්‍යාලයට ඇතුළු වී දෙවනි වසරේදීම ඔහු ශිෂ්‍ය සංගමයේ සභාපති බවට පත් වෙයි. හැත්තැ එකේ කැරැල්ල සමයේ ඔහුව ඝාතන නොකිරීමට එකම හේතුව වන්නේද ඔහු ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා වීමය. නමුත් ඒ වන විටත් රන්බණ්ඩාගේ සහෝදරයන්, ගමේ ඔහුගේ යහළුවන්ද කැරැල්ලේ කි‍්‍රයාකාරී සාමාජිකයන් වී තිබුණි.කැරැල්ලෙන් ඔහුගේ පවුලේ දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කළේය. ඊට අමතරව පවුලේ පස් දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.