Sunday, July 14, 2019

නර්ථනයට චිත‍්‍ර කලාවෙන් ලැබෙන ආභාසය





නර්ථන කලාව හා චිත‍්‍ර කලාව ස්වාධීන කලා මාධ්‍යයන් දෙකක් වේ. චලනය නර්ථනයේ මාධ්‍ය වන අතර වර්ණ, රේඛා, හැඩතල චිත‍්‍ර කලාවේ මාධ්‍ය වේ. චිත‍්‍ර හා මූර්ති කලාවේ මූලික අංග ලෙස ඇඹීම, ඇඳීම, නෙලීම, කැටයම් කිරීම, වර්ණ ගැන්වීම ආඳිය දැක්විය හැකිය.
අවකාශය, රටා, හැඩතල, මෝස්තර යනාදිය නර්ථනය හා චිත‍්‍ර කලාව යන යන විෂයන් දෙකටම පොදු සංකල්ප ලෙස දැක්විය හැක. නර්ථන රංග රචනයේදී අවකාශ භාවිතය බැඳි දිශා, තාල ව්‍යාප්තිය මෙන්ම චලනය හා බැඳි කාලය, වේගය, ශක්තිය, ගලනය ආඳී වූ සංකල්ප ආවරණය වූ පරිදි රටා හා මොස්තර නිර්මාණය කරනු ලැබේ. මෙහිදි දෘශ්‍ය අවකාශය හා බැඳි බුදධිමය පරිකල්පනය ක‍්‍රියාත්මක වේ.
චිත‍්‍ර විෂයෙහි චිත‍්‍ර සම්පිණ්ඩනයේදී අවකාශය හා බැඳි සංකල්ප මතු කෙරෙන පරිදි වර්ණ හා රේඛා භාවිතය සිදු කෙරෙන අතර එහිදී දෘශ්‍ය අවකාශය හා බැඳි පරිකල්පන ඥානය මෙහෙයවනු ලැබේ.
දේශීය නර්තන කලාවේ ශාන්තිකර්ම ආශ‍්‍රිතව ඇති කැටයම්, සැරසිලි, මෝස්තර, ඇඹීම්, නෙලීම් ආඳිය චිත‍්‍ර හා බැඳුණු අංග වේ. ශාන්තිකර්ම සැරසිලි වන අයිලය, තොරණ, වීදි, යහන්, පිදේනි ආඳිය තැනීමෙදී ගොක් කොළ, රඹ පතුරු, රඹ කඳන්, හබරළ කොළ ආඳි විවිධ අමද්‍රව්‍ය භාවිතා කොට කැටයම් හා සැරසිලි කරනු ලැබේ. නාරිලතා රූපය, පන්කළස, ඉර, හඳ, යක්ෂ මුහුණ, ලියවැල් මෝස්තර, නෙළුම් මල ආඳී වූ සැරසිලි හබරල කොළ ආඳියෙන්ද ගොක්ගෙඩි, පිදේනි තටු, මල් යහන් ඇතුළු තවත් බොහෝ සැරසිලි අලංකාර ලෙස කැටයම් කපන ලද ගොක්කොළ භාවිතයෙන්ද කරනු ලැබේ. එසේම විවිධ හැඩයන්ට අනුව කපා ගන්නා ලද රඹ පතුරු මඟින් වීදි, යහන් අලංකාරවත්ව සකසනු ලැබේ. මේ සඳහා චිත‍්‍ර කලාවෙන් ලැබෙන ආභාසය වැදගත් වේ.
රංග භාණ්ඩ නිර්මාණය ගත් කළ සූනියම් ශාන්තිකර්මයේ එන දොළහ පෙළපාලියට අයත් කුඩ, කොඩි, සේසත්, චාමර, කොම්බු, වීණා ආඳිය මෙන්ම රටයකුමේ දොළහ පෙළපාලියට අයත් පනාව, කැඩපත, තෙල් කුප්පිය, කූර ආඳී අංග මෙන්ම කපුයක්කන්කාරියේ මල් සහිත කපු ගස යනාදිය සැකසීම මෙන්ම අනෙකුත් ශාන්තිකර්මයන්හි එන විවිධ රංග භාණ්ඩ සැකසිම, චිත‍්‍ර කලාවෙන් ලැාබෙන පෝෂණය පිළිබඳව උදාහරණ ලෙස දැක්විය හැකිය.
අංග රචනය හා වෙස් මෝස්තර රචනය චිත‍්‍ර කලාව ආශ‍්‍රයෙන් පණ ගැන්වී ඇත. සැබෑ මුහුණේ මෙන්ම වෙස් මුහුණේ විවිධ මනෝභාවයන්, බාල මහළු, රූපි විරූපි, ආඳි තත්ත්වයන් හා චරිත ලක්ෂණ කියා පෑම වර්ණ, රේඛා, හැඩතල මෙහෙය වීම මඟින් කළ හැක. වෙස් මුහුණ ඇසුරෙන් උදාහරණ ලෙස, සන්නි යකුමෙහි සූනියම් යක්ෂණියගේ චරිත අවස්ථා තුනට අයත් මුහුණ හා සන්නි මුහුණ මෙන්ම කෝළම් නාටකයෙහි මහා සම්මත රජු මුහුණ, හේවා, ආරච්චි මුහුණ යනාදිය දැක්විය හැක.විමර්ශනාත්මකව බැලීමේදි භාවෝත්පාදක හැඩතල මතු කිරිමට හා වර්ණ ගැන්වීමට චිත‍්‍ර කලාවෙන් ලබා ඇති ආභාසය මනා පිටුවහලක් වී ඇති අයුරු පසක් වේ.
බලි ශාන්තිකර්මයේ දී බලි ඇඳීම, වර්ණ ගැන්වීම චිත‍්‍ර කලාවෙන් ලැබෙන පෝෂණයට තවත් නිදසුනකි. රංගාභරණ තැනීමේදී විවිධ අමුද්‍රව්‍ය භාවිතයෙන් වැඩ දැමීම, අච්චු මෝස්තර ඇඳීම, නෙලීම, වර්ණ ගැන්වීම චිත‍්‍ර කලා විෂය සමඟ බැඳෙන කි‍්‍රයාකාරකම්ය.
රංග වස්ත‍්‍ර සකස් කිරීම සලකා බලන විට හැඩරටා, වර්ණ ගැලපීම හා මෝස්තර නිර්මණය ආඳි කාර්යයන්හීදි චිත‍්‍ර කලා ඥානය වැදගත් සාධකයකි.

3 comments: