Tuesday, April 9, 2019

මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ හා ඩබ්. ඒ. සිල්වා මහතාගේ තෝරා ගත් කෘතීන් කිහිපයක ඇති අන්නර් සංස්කෘතික ආභාසයන්


සිංහල නවකතාවේ ඉතිහාසය දෙස බලන විට එය වැඩී වර්ධනය වී ඇත්තේ ප‍්‍රධාන කොටම තේමා ධාරාවන් තුනක් ඔස්සේ බව පෙනී යයි. මේවා ප‍්‍රචාරක, පේම හා යථාර්ථවාදි යනුවෙන් නම් කල හැක.

සිංහල නවකතාවේ යථාර්ථවාදි ධාරාව මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ ගම්පෙරළියෙන් ආරම්භ වෙයි. වික‍්‍රමසිංහ පරිණාමවාදියෙක් වෙයි. මේ අනුව ගම්පෙරළිය අර්ථකථනය කර ඇත්තේ වෙනස් වන ලෝකය තුල වෙනස් නොවී සිටින්නට උත්සාහ කල ගම්බඳ ප‍්‍රභූ පවුලකට අත්වන ඉරණම කියාපාන්නක් හැටියටයි.

ගම්පෙරළියේ දක්නට ලැබෙන සමාජ දෟශ්ටිය ඩොස්ට්‍රොවොස්කි, චෙකොප් වැනි රචකයන්ගේ කෘතීන් ඇතැම් අවස්ථාවල අපට සිහිගැන්වුවද ඒ කෘතීන් වල දක්නට ලැබෙන අන්දමේ ගැඹුරු එකක් නොවන බව කේ. ජයතිලකයන් සිංහල නවකතාවට සංස්කෘතික පසුබිම පොතෙහි සඳහන් කරයි.


රුසියාවේ ඇති වීමට තිබුණු සමාජ විපර්යාසයත් ඉන්පසුව සාමාන්‍ය ජනයාට එළඹෙන ආලෝකමකත් ජීවිතය ගැනත් චොකොප් සිය හයේ වාට්ටුව මගින් විස්තර කරයි. වික‍්‍රමසිංහයන්ද ගම්පෙරළිය මගින් පවතින තත්ත්වය ක‍්‍රමක් ක‍්‍රමයෙන් දියුණු වන ආකාරයත් පෙන්වා දෙයි.

එසේම කේ. ජයතිලකයන් පෙන්වා දෙන්නේ අනුකරණයක් නොවන නමුත් ඇන්ටන් චෙකොප්ගේ චෙරිවත්ත කෘතියෙහි තේමාමය බලපෑමක් ගම්පෙරළියෙහි දක්නට ඇති බවයි.

බටහිර සභ්‍යත්වය හා ගැටීමෙන් සිංහල සංස්කෘතිය විශාල වෙනසකට බාහිර මෙන්ම අභ්‍යන්තරයෙන්ද ලක්වූ බව තදින්ම විශ්වාස කරන්නෙකු ලෙස වික‍්‍රමසිංහයන් හඳුනා ගැනීමට කලියුගය කියවීමෙන් වඩාත් පහසු වෙයි.

යුගාන්තයෙන් නාගරික පන්තිය මැඩගෙන පැන නගින නාගරික පන්තියේම අංගයක් වූ කම්කරු පක්ෂයක් ගැන තොරතුරු හෙළි වෙයි. මේ සමාජය බොහෝ දුරට ලංකාවේ නොව බටහිර රටවල සමාජය දෙසත්, ඒ රටවල ලියවෙන නවකතාවන් දෙසත් බලා කරන ලද විග‍්‍රහයක් ලෙස වැටහී යයි. විශේෂයෙන්  වික‍්‍රමසිංහයන් ඉතාමත් ළගින් ඇසුරු කල රුසියානු සාහිත්‍යයේ මෙවැනි සමාජ වල තොරතුරු විප්ලවයෙන් පසුව සටහන් වී ඇත.

ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය තුන් ඈදුතු නව කතාවකි. තුන් ඈදුත්ත එහෙම නැත්නම් ති‍්‍රකය එකිනෙකය සම්බන්ධ වූ කෘතී තුනකි. පුරාණ ගී‍්‍රක නාට්‍ය උත්සව වලදි මෙවැන් ශෝකෝත්පාදක ති‍්‍රකයන් පෙන්වීමේ සාම්ප‍්‍රදායක් තිබිණී. පසු කාලයේදි මේ නම සිද්ධි දාමය අතින් එකිනෙකට සමාන වන කවර හෝ කෘතී තුනක් සඳහා භාවිතා කෙරිණී. වික‍්‍රමසිංහයන්ද මේ ආභාෂය ගම්පෙරළිය, කලියුගය හා යුගාන්තය යන කෘතී ති‍්‍රත්වයට උපයෝගි කර ගෙන ඇත.

වික‍්‍රමසිංහයන් විරාගය මගින් සමාජ පරතර දෙකක් අතර ඇති වූ ඝට්ටනය හේතුකොටගෙන නිශ්කී‍්‍රය චරිතයක් බවට පත් වූ පුද්ගලයෙකුගේ අත්දැකීම් පළමුවරට කියාපායි. එහෙත් ඔහුගේ මේ චරිත විශේෂයද අපේ සමාජයේ සුලභය දක්නට ලැබෙන චරිත විශේෂයකට වඩා, බටහිර සමාජයේත් නවකතාවලත් සුලභව දක්නට ලැබෙන චරිත ගණයකට අයත් වෙයි.

මෙබඳු චරිත වල ජීවිතය, අලූත් සමාජයේ විෂමජනක වෙනස්කම්වල ප‍්‍රතිඵලයක් නිසා ජීවිතයේ සෑම අංශයකින්ම පිරිහීමට පත් අය විය. ඔවුහු සම්පූර්ණයෙන්ම නිශ්කී‍්‍රය බවට පත් විය. මෙවැනි චරිතයන් වටා ගෙතුණු නවකතාවන් කල අයෙකු ලෙස ඩි.එච්. ලෝරන්ස් ගන්නේ ප‍්‍රධාන තැනකි.

පුද්ගල අත්දැකීම් වටා ගෙතුණු නවකථා ලිවීම සිංහල නවකථා රචකයින් ඩි.එච්. ලෝරන්ස් ගෙන් ආභාෂය ලබා ගෙන ඇතැයි කීම යුක්ති සහගත වේ. ලෝරන්ස්ගේ චැටර්ලි ආර්්‍යාවගේ පෙම්වතා කෘතීය වික‍්‍රමසිංහයන් විරාගය නිර්මාණයට යොදා ගෙන ඇති බව විචාරක මතයයි.

මේ නවකථා තුලින් අළුත් සමාජයට නගින්නට නි්ශ්කී‍්‍රය චරිතයන් වැර වෑයම් දරන අන්දමත්, අවසානයේදි ඔවුන් අතරමං වන අයුරින් නිරූපනය කරන කැඩපතක් වන අතර, එම චරිත වල ස්වභාවයෙන්ම දක්නට ලැබෙන පරාජීත විලාශය සමග අධ්‍යාත්මික වශයෙන් පමණක් තෘප්තියක් ලබා ගන්නට ඇති ඇල්මද කැපී පෙනේ.

ඩබ්. ඒ. සිල්වා සංස්කෘත තද්සම වලින් පොහොසත් ප‍්‍රතාපවත් භාශා ශෛලියක් අනුගමනය කල ලේඛකයෙකි. එසේම ඔහු බෙහෙවින් ඉංගී‍්‍රසි සාහිත්‍ය පරිශීලනය කල ලේඛකයෙකි. නමුත් මොහු ආභාසය ලද්දේ චාල්ස් ඩිකන්ස්, එමලි බ්‍රොන්ටේ වැනි ප‍්‍රථම පෙළේ ලේඛකයන්ගෙන් නොව ආර්.බී. ෂෙරිඩන්, රයිගර් හැගාර්ඞ් වැනි දෙවනි හා තුන්වන ගණයේ ලේඛකයන්ගෙනිි.

හැගාර්ඞ් වැනි අයගේ ආභාසයෙන් ඔහුගේ කතා වලට අත්භූත ගුණයත්, කුතුහලජනක භාවයත් එක්විය. ෂෙරිඩන්, මෝලියර් වැනි නාට්‍යකරුවන්ගේ ආභාසයෙන් නාට්‍යමය ගුණයත්, හාස්‍යත් ප‍්‍රවේශ විය.

1983 ඩබ්. ඒ. සිල්වා රචනා කල විජයබා කොල්ලය කෘතීය ආර්.බී. ෂෙරිඩන් නම් ඉංගී‍්‍රසි කතුවරයාගේ පිසාරෝ නාට්‍ය අනුසාරයෙන් ලියන ලද්දේ යැයි එදිරිවීර සරත්චන්ද්‍රයන් පවසයි. පිසාරෝවට පසුබිම් වන පරිසරය දකුණු ඇමරිකාවේ පීරු රටයි. පීරු රට ආක‍්‍රමණය කල ස්පාඤ්ඤවරුන් හා පීරු වැසියන් අතර වූ යටත්විජීතවාදි කැරලි කෝලහාල පිසාරෝවෙහි අන්තර්ගත වෙයි.

ශ්‍රී ලාංකිකයන්ටද පෘතුගීසින්ගෙන් අත්විඳින්නට සිඳු වූ මෙවැනි ගැහැටක සමානකම් දකින ඩබ්. ඒ. සිල්වා විජයබා කොල්ලය කතාවද පිසාරෝ අනුව සකසා ගන්නට ඇතැයි සරත්චන්ද්‍රයන් පවසයි. එසේම ඩබ්. ඒ. සිල්වා ෂෙරිඩන්ගෙන් උපුටා ගෙන තිබෙන්නේ කතා වස්තුව පමණක් නොවේ. ඔහුගේ කතාවේ නායක නායිකාවන් පවා නම් ගම් වෙනස් කොට ෂෙරිඩන්ගේ කෘතීය අනුසාරයෙන් ගෙන ඇත.

ඩබ්. ඒ. සිල්වා ලියූ රදළ පිළිරුව නවකථාවට සමානකමක් දක්වන්නේ යැයි විචාරකයන් පෙන්වා දෙන කෘතීය නම් ප‍්‍රංශ ජාතික මෝලියර්ගේ ල බුෂ්වා ෂන්ති  ඕම් නම් නාට්‍යයි. ප‍්‍රංශයේ සිදුවූ ආර්ථික, සමාඡීය හා දේශපාලනික පෙරළි ශ්‍රී ලාංකික සමාජය හා සසදා බැලීමෙන් බොහෝ විට සමානකමක් දක්නට ලැබෙයි. ඩබ්. ඒ. සිල්වා තමා පරිශීලනය කල මෝලියර්ගේ මෙම නාටකයේ එන පරිසරය ශ්‍රී ලාංකික පරිසරය හා සසදා ඇත. පවතින සමාජයේ රදළ උන්මාදය හා රදළ පන්තිය වැළඳ ගන්නට උත්සාහ කරන්නවුන්ගේ හරසුන්බව සිල්වා ප‍්‍රත්‍යක්ෂ කරගෙන ඇත. සිල්වා රදළ පිළිරුව රචනා කිරීමේදිත්, මෝලියර් සිය නාටකය රචනා කිරීමේදිත් එකම පරමාර්ථය පෙරදැරි කර ගෙන ඇත.
මෝලියර්ගේ ල බුෂ්වා ෂන්ති  ඕම් නාට්‍යයේ කතා නායකයා ජොර්දාන් වන අතර, ජොර්දාන්ගේ බිරිඳ, ජොර්දාන් යුවළගේ දියණිය, ජොර්දාන් නිවසේ සේවිකාව ලෙස පාත‍්‍ර වර්ගයා ගොඩනගා ඇති අතර රදළ පිළිරුව නවකතාවෙහි කතා නායකයා රපියෙල් බාස්, රපියෙල් බාස්ගේ බිරිඳ හෙලේනා, රපියෙල් යුවළගේ දියණිය, රපියෙල් නිවසේ සේවිකාව ලෙස චරිත ගොඩනංවා ඇත.
අවස්ථා හා සිදුවීම් සම්බන්ධයෙන්ද කෘති දෙකේ දැඩි සබඳතාවක් ඇත. කාලීන උගතුන්ගේ කි‍්‍රයා පිළිවෙත කෘති දෙකේම හාස්‍යට ලක් කෙරේ. කතා නායකයා රදළ පිස්සුවෙන් ඔද්දල් වී සිටීම කතා දෙකේම දක්නට පුළුවන. කතා නායකයා බිරිඳගෙනුත්, දරුවන්ගෙනුත්, සේවකයන්ගෙනුත්, සමාජයෙනුත් අවඥාවට බඳුන් වෙයි. එසේම රදළ වෙස් මුහුණක් පැළඳ සිටින වංචනිකයෙනකුට කෘති දෙකේම කතා නායකයෝ වසග වී සිටිති.
ඩබ්. ඒ. සිල්වා වර්ෂ 1922 දි රචනා කල ලක්ෂ්මි කෘතිය හා රයිගර් හැගාර්ඞ්ගේ (1887) SHE කෘතිය අතර සමානකම් ඇතැයි විචාරකයෝ පෙන්වා දෙයි. එදිරිවීර සරත්චන්ද්‍රයන් සිය සිංහල නවකතා ඉතිහාසය හා විචාරය කෘතියේදි ලක්ෂ්මිය නම් නොනැසෙන රැුජීනියගේ චරිතය රයිගර් හැගාර්ඞ් නම් ඉංගී‍්‍රසි නවකතාකරුවාගේ SHE යන කෘතියෙහි එන අත්භූත ස්ති‍්‍රයකගේ චරිතය බලා සකස් කරන ලද්දක් සේ පෙනේ යැයි කියා සිටී.
ලක්ෂ්මි කතාවට මෙන්ම SHE යන කතාවට පදනම් වන්නේ වර්තමාන ස්වාභාවික පරිසරයත් අත්භූත ලෝකයේ පරිසරයත්ය. චරිත වශයෙන් ගත් කලද කෘති දෙකේ සමානතා ඇත. SHE කෘතියෙහි අයේෂා හෙවත් නොනැසෙන රැජීනිය, ලියෝ හා හොලී ලෙස චරිත ගොඩනංවා ඇති අතර ඩබ්. ඒ. සිල්වා මහතා ලක්ෂ්මි නවකතාවෙහි ලක්ෂ්මි නොනැසෙන රැජීනිය, පීටර් විජයසිරි, මහළු අත්තනායක මහතා ලෙස චරිත ගොඩනංවා ඇත.
ලක්ෂ්මියගේ සම්ප‍්‍රාප්තිය සිදුවන්නේ නවකතාවෙහි 12 වන පරිච්ෙඡ්දයේදිය. SHE හි අයේෂා දක්නට ලැබෙන්නේද 12 වන පරිච්ෙඡ්දයේදිය. කතා නායිකාවන් දෙදෙනාම අතිශයින් රූමතිය. යම්කිසි රහසක උරුමක්කාරියන්ය.

Dew.......               

No comments:

Post a Comment